Saturday, October 6, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ iii

හොඳයි ළමයි...
මට දැනුන පොඩි ප්‍රශ්නයක්.. කලින් ප්‍රතිරෝධ වල අගයන් හොයාගන්න දීපු වර්ණ කේත් වගුව ගැන.. හොඳටම දැණුම තියෙන අයට නැති උනාට අලුතෙන් ඉගෙනගන්න අයට ඒකෙ ප්‍රශ්න කීපයක් ඇති වෙන බව මගෙ යාලුවෙක් කිවුව.. පස්සෙ බලපුවමයි මටත් තේරුනේ!!
(*1*)මටත් ඒකෙ සමහර අගයන් හොයන්න බෑ වගෙ.. :ඩී
ඒ නිසා මම ඊට වඩා සරළ කරල හැදුව වර්ණ කේත වගුවක් ආයෙමත්.. ඔන්න මේ පහල තියෙන්නෙ ඒක...

ක්ලික් කරල ලොකු කරල බලන්න.. නැත්තම් බාගන්න...

මෙතනදි ඔයාලට එන්න පුලුවන් ප්‍රශ්නය තමයි 1.8Ω වගෙ ප්‍රතිරෝධකයක වර්ණ ටික කියන එක....

(*2*)මේක වැදගත්... තෙවෙනි වර්ණය රන් (හෝ රිදී) නම්.. ඒ හැම ප්‍රශිරෝධකයක්ම 10Ω ට අඩු ඒව...  ඒ වගෙ වෙලාවට පළවෙනි වර්ණයට අදාල අගය ලියන්න ඊට පස්සෙ දශම තිතක් තියන්න.. ඊට පස්සෙ දෙවෙනි වර්ණයට අදාල අගය ලියන්න..

උදා - දුඹුරු කලු රන් = 1.0Ω
         දුඹුරු රතු රන් = 1.2Ω
          කහ දම් රන්   = 4.7Ω

(*3*)අනිත් ගැටලුව තමයි ප්‍රතිරෝධකයක කොයි පැත්තෙ ඉඳලද මේ විදියට අගයන් කියවන්න ඕන කියන එක...
 මෙන්න ඒ ගැන...
ප්‍රතිරෝධකයක  මුලින් කියවිය යුතු වර්ණයන් විය යුත්තේ ඉහත වගුවේ 0 සිට 9 දක්වා අගයන් වලට අදාල වර්ණ පිහිටා තිබෙන පැත්තේ සිටයි..
සරලව කියනව නම් ඔබ ප්‍රතිරෝධකයක එක් අග්‍රයකින් අල්ලා ගත් විට එහි එක් පැත්තක මුලින්ම දකින්න තියෙන වර්ණ ඉර රන් හෝ රිදි නම් ඔබ එය කියවිය යුත්තේ එහි අනෙක් පස සිටයි..

සෑම විටම ප්‍රතිරෝධකයක කියවිය යුතු පළමු වර්ණය රන් හෝ රිදී නොවිය යුතුයි... එහි පළමු වර්ණය රන් හෝ රිදී නම්.... ඔබට වැරදී ඇත.. ඔබ කියවිය යුත්තේ එහි අනෙක් පස ඇති වර්ණ අනුපිළිවෙලටයි..

(*4*) අනිත් ගැටලුව මේ වගුවේ රන් හා රිදී වර්ණයන්ට නිසි අගයක් යොදා නොතිබීම.. ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක් එහි සඳහන් කරල තියෙන අගයන්ට වඩා පොඩි වෙනසක් තියෙන්න පුලුවන්... මෙහෙම කියන්නම්කො... දුඹුරු, කලු, රතු, රන් ලෙස සඳහන් වෙන්නෙ 1KΩ ප්‍රතිරෝධකයක සම්මත අගය 5% කින් වගෙ වෙනස් වෙන්න පුලුවන්... ඒ කියන්නෙ ඒ ප්‍රතිරෝදකයෙ ප්‍රතිරෝදය 5% කින් වැඩි හෝ අඩු වෙන්න පුලුවන්... ලොකු බලපෑමක් නම් වෙන්නෙ නෑ අපි හදන පරිපථ වලට... ඒත් ගොඩක් සංවේදී පරිපථ වලට බලපාන නිසයි ඒවයෙ නිෂ්පාදකයො ඒ අගයනුත් සඳහන් කරල තියෙන්නෙ.. ඔයාලට මම දෙයක් කියන්නද.. ??
ප්‍රතිරොධකයක හතර වෙනි වර්ණය රන් හෝ රිදී නම්... කොටින්ම ඔයාල හතරවෙනි වර්ණය ගැන හිතන්නම එපා... මුල් වර්ණ තුන විතරක් ඔයාලට ඇති..

වැදගත් - වර්ණ පහකින් යුතු ප්‍රතිරෝධක තිබුනද.. ඒවා වෙළඳපොලේ දුලබය... අපේ වැඩ වලටත් එහෙම ඒවා ඕනෑ නැත.. :ඩී

සෑම විටකම වර්ණ කේත වගුවෙන් බලා ලබාගන්නා අගය 1000ට වැඩි නම් එය 1000න් බෙදා ඊට අදාල වැඩි අගය ලබාගන්න..

1000Ω == 1KΩ
1000K
Ω == 1 MΩ

තව ගැටලු තියෙ නම්... ඒකත් පහලින්ම දාන්නකො කොමෙන්ටුවක් විදියට....

Friday, July 13, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ ii

කලින් පෝස්ට් එකේ ප්‍රතිරෝධ විස්තර කලාට ඒවයෙ අගය මනින්නෙ කොහොමද කියල එහෙම විස්තර කලේ නෑ නෙ...
මේ ප්‍රතිරෝධක ගැන තව දුරටත්....

ප්‍රතිරෝධක වල අගය මනින්නෙ ඕම්ස් (Ohm) වලින්. ඕම්ස් වල සංකේතත තමයි මෙන්න මේක --> Ω

1Ω
1000
Ω = 1Kilo Ohn (1KΩ)
1000K
Ω = 1Mega Ohm (1MΩ)
මේ පහතින් තියෙන්නෙ ප්‍රතිරෝධක වල වර්ණ කේත වගුව.... ස්ථිර ප්‍රතිරෝධකයක අගය හොයාගන්න විදිය මේ වගුව බලපුව්ම පැහැදිළි වෙයි.



මේ තියෙන වර්ණ කේත වගුව පාට වල නම් එක්ක ලියල තියාගන්න එක ඔයාලගෙ ඉදිරි වැඩ වලදි ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලයි මට නම් හිතෙන්නෙ....

අර මම කලි පෝස්ට් එකේ දාල තියෙනව් යම් අගයක් සහිත ප්‍රතිරෝධකයක් පිංතූරයක්....
ඒකෙ මේ පාටඉරි පැහැදිළිව පේනව............

බලන්නකො... ඒකෙ අගය හොයාගන්න පුලුවන්ද කියල....


ප්‍රශ්න ගැටලු තියෙ නම් අහන්ට ඕන.....


තවම කොමෙන්ටු වැටිල නැති කමින් පෙනී යන්නෙ ගැටලු නැති බවද????






Thursday, July 12, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ

ප්‍රතිරෝධ - Resistors

මේකත් හරියට හුඟක් අය ආදරය කරනකොට එයාලගෙ දෙමවුපියන්ගෙන් එයාලගෙ ආදරේ ට වෙන ක්‍රියාවට සමානයි.

මේක ගමන් කරන විදුලිය හරස් කරන මාර්ග බාධකයක් වගෙ..

හා හා...  රස කතා ඕන නෑ..
මෙන්න විස්තරේ...

මේක අපි පාවිච්චි කරන්නෙ යම්කිසි පරිපථයක ගලන ධාරාව පාලනය කරන්නයි.
මේකෙත් වර්ග දෙකයි.

1. ස්ථිර ප්‍රතිරෝධක (Fixed Resistor)
2. විචල්‍ය ප්‍රතිරෝධක (Variable Resistor)

ඒකෙදි විචල්‍ය ප්‍රතිරෝධක වර්ග නම් ගොඩක් තියෙනව... අපි ඉදිරියෙදි හදන්න ඉන්න පරිපථ වලදි මේ දෙකම පාවිච්චි කරන්නත් හිතන් ඉන්නව.

ස්ථිර ප්‍රතිරෝධක (Fixed Resistor)
මේ ප්‍රතිරෝධක ප්‍රමාණයෙන් ඉතාමත්ම කුඩයි. මේවායේ අගය සඳහන් කරල තියෙන්නෙත් විශේෂ ක්‍රමයකට. ස්ථිර ප්‍රතිරෝධක වල අගය සඳහන් කරල තියෙන්නෙ වර්ණ කේත (colour code) භාවිතා කරලයි.
මේ පහතින් තියෙන්නෙ අගය කිලෝ ඕම් 1 ක් (1kΩ)  වෙන ප්‍රතිරෝධකයක පිංතූරයක්.

මේවයෙ අගය මනින විදිය ගැන ඊළඟ පෝස්ටුවෙන් කියා දෙන්නම්කො...
අදට ඇති වගෙ,,,
මටත් අද ටිකක් මහන්සියි...
:)

ප්‍රශ්න ගැටලු තියේ නම් අහන්ට ඕනෑ...!!








Wednesday, July 11, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ට්‍රාන්සිස්ටරය

ට්‍රාන්සිස්ටරය - Transistor

 මේ තියෙන්නෙ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන ට්‍රාන්සිස්ටර් වර්ග තුනක පිටත පෙනුම..
මෙතනින් අපි වැඩිපුරම පාවිච්චි කරන එක තමයි මේ C828 කියන එක (අපේ වැඩ වලට ).

මේ උපකරණයෙ අග්‍ර තුනක් තියෙනව. ඒක පැහැදිළිව හඳුන ගන්න පුලුවන්. (එසේ නොවන ට්‍රාන්සිස්ටර් වර්ගයක් ද තිබේ - මා දැනුවත්ව ). ට්‍රාන්සිස්ටරය සෑදීමට යොදාගන්නෙ සිලිකන් හා ජර්මේනියම් කියන මූලද්‍රවය  දෙකයි. ඒ යොදා ගැනීම අනූව NPN හා PNP කියල ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට බෙදෙනව. ඒකෙදි යොදාගන්න මූලද්‍රවය වෙනස වෙනම මාතෘකාවකින් කතා කරමු, දැනට අපිට අපේ වැඩ වලට ඒව ඕන නෑ...

ට්‍රාන්සිස්ටරයක අග්‍ර තුන විශේෂ නම් තුනකින් හඳුන්වනව.
1. සංග්‍රාහකය (Collector) " C "
2. පාදම (Base) " B "
3. විමෝචකය (Emitter) " E "

අපේ පහසුවට අපි ඒ පාද වල මුල් අකුරු තුන තමයි පාවිච්චි කරන්නෙ....
අර මම කලින් කිවුව කියන ට්‍රාන්සිස්ටර් වර්ග දෙකේ ප්‍රධානම වෙනස්කම තමයි එකක් වැඩ කරන්නෙ ධන (+) වෝල්ටීයතාවයෙන්. අනික සෘණ (-) වෝල්ටීයතාවෙන්. ඒකත් දිග මාතෘකාවක්. වෙනම විස්තර කරන්නම්කො.

මෙන්න ඒ දෙකේ සංකේත දෙක.

NPN ට්‍රාන්සිස්ටර්





PNP ට්‍රාන්සිස්ටර්

 හොඳයි..
අපි අපේ වැඩ වලට පාවිච්චි කරන්න හිතන් ඉන්න ප්‍රධානම බහු කාර්ය ට්‍රාන්සිස්ටරය තමයි C828 ට්‍රාන්සිස්ටරය. අපි පරිපථ නිර්මානයේදි සැබෑ රූප යොදාගන්නෙ නෑ.. ඒකෙදි යොදාගන්නෙ ඔය උඩින් ඇඳල තියෙන විදියෙ සංකේත.
මේ පහතින් තියෙන්නෙ ඒ වගේ අපි අපේ වැඩ වලදි යොදාගන්න බලාපොරොතු වෙන ට්‍රාන්සිස්ටර කීපයක අග්‍ර නම් කරල තියෙන විදිය.
ඒ වගෙම විශේෂයෙන්ම කියන්න ඕන අපි මුලින් හදන්න හිතන් ඉන්න හුගක් පරිපථ වලදි අපි පාවිච්චි කරන්නෙ NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර්. මේ පාතින් පාද නම් කරල දාල තියෙන ට්‍රාන්සිස්ටර් දෙකම අයිති වෙන්නෙ අන්න ඒ NPN කාණ්ඩයටයි.













මේ පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව කොමෙන්ටුවක් දාන්ට.

ගැටලුවක් නැතත් අදහස කොමෙන්ටුවකට දාල යන්ට පුලුවන් නම් ඒකටත් ස්තූතිවන්ත වෙනව මම...






Tuesday, July 10, 2012

පාස්සන හැටි බලමු - 2

ඔන්න ළමායී...
අද පාඩම...

කලින් එකේ මම කිවුවනෙ පාස්සන්න ඕන කරන පහසුකම් සහ අමුද්‍රව්‍ය මොනවද කියල...

හොඳයි... තවම අපි ඉලෙක්ට්‍රොනික් උපකරණ වලින් වැඩ ගන්නහැටි හරියටම තවම ඉගෙනගන නැති නිසා මම පාස්සන හැටි කියා දුන්නට පරිපථයක් හදන තුරු නම් ඒක ඒ තරම් ප්‍රයෝජනවත් වෙන එකක් නෑ... ඒ වුනත් බලාගන්නකො...
එතකොට මතක හිටීවි නෙ...

මෙතන පහල තියෙන්නෙ මම හදපු බටපොල ඇන්ටනා බෝඩ් එකකට උපකරණ දාල යටින් තඹ තීරු වලට තියල ඊයම් තියපු පරිපථයක්..



වීඩියෝ එකකුත් තියේ... ඒත් ඒක 228ම්බ් කියනවනෙ..මගෙ ඉන්ටර්නෙට් පැකේජ් එකෙන් පහෙන් එකක් විතර.. හිතාගන්නකො මගෙ පැකේජ් එක ගැන.. ;)

කෝම හරි වීඩියෝ එකක් දානව මම හෙට අනිද්දටම...

බවුත් එකෙන් ඊයම් උණු කරල පාස්සන හැටි පළවෙනි වතාවට ඉගෙන ගන්න අය අත උස්සන්න බලන්න!!!!

ඊළඟ පෝස්ට් වලින්... මම පටන් ගන්නව.... මූලික ඉලෙක්ට්‍රොනික උපාංග ගැන.. කෙටියෙන්.. සරලව.. අපිට අපේ වැඩ වලට උවමනා වෙන පමණට...

ප්‍රශ්න තියෙ නම කොමෙන්ටුවක් දාන්ඩෝ...!!! නැතත් කමෙන්ටුවක් දාන්ඩෝ...!!
:ඩී




Monday, July 9, 2012

පාස්සන හැටි බලමු

                  මේකයි ඉතින් සිද්ධිය. මගෙ ළඟ මේ වෙලාවෙ පාස්සන හැටි හොඳටම කියා දෙන්න පාවිච්චි කරන "වෙරෝ බෝඩ්" නෑ... කොටින්ම මම සර්කිට් හදන්න ගත්තු කාලෙ මම ඔය නම අහලවත් තිබුනෙ නෑ. මට නම් කෝකටත් තෛලෙ උනේ ෆෝමිකා බෝඩ් කෑලි තමයි. සල්ලි දීල ගන්න ඕන උනෙත් නෑ. මාමලගෙ ගෙදර තිබුන ඕන තරම් මගෙ වැඩ වලට ගන්න පුලුවන් ෆෝමිකා කෑලි. :) අනික දැන් වගෙ වෙරෝ බෝඩ් අඩුවට ගන්න තිබුනෙත් නෑ ඒ කාලෙ.. ඒ වගෙම අපි හදපු තරමක් සර්කිට් හදන්න වෙරෝ බෝඩ් ගන්න ගියා නම් අපිව විකිණිලා මෙලහකටත්!!:ඩී

            වෙළඳපොලේ වෙරෝ බෝඩ් පොඩි එකක් රුපියල් 100කට විත ගන්න පුලුවන් වෙයි ඔයාලට. වෙරෝ බෝඩ් වර්ග දෙකක් තියේ... උඩ පෙනුමෙන් නම් දෙකම එක වගෙ...;)
ඒත් යට පෙනුමෙන් නම් ජාති දෙකක්.. :පී
පිටත එහෙමත් නැත්තම් උඩ පැත්තෙ පෙනුම - නිකම් සිදුරු විදපු බෝඩ් එකක් වගෙ



 මෙන්න එක ජාතියක්.... මේකෙ වැඩ කරනකොට ටිකක් පරිස්සමට... මොකද මේ ජාතියෙ බෝඩ් වල ඔයාලට පේනව වගෙම දකුණු පැත්තට තියෙන හැම පේලියක්ම තඹ තීරුවකින් එකතු වෙලා තියෙන්නෙ... ඒ නිසා උපකරණ දානකොට බෝම කල්පනාවෙන් වැඩ කරන්ට වෙනව... :)

මේ තියෙන්නෙ අනිත් වර්ගෙ.... මම හිතන්නෙ පුරුදු වෙන ආධුනික මට්ටමේ හැමෝටම ගැළපෙන්නෙ මේ බෝඩ් ජාතිය. මොකද මේකෙ එහෙම එක පැත්තක් තඹ තීරු වලින් සම්බන්ධ කරල නෑ... :) හැම සිදුරක්ම වටේට පුංචි තඹ රවුමක් තියෙනව. ඒ නිසා මොකක් හරි උපකරණයක පින් (අග්‍ර) මේ සිදුරු වලින් දාල පාස්සනකොට තඹ රවුමටත් එක්ක හොඳට ඊයම් අල්ලල ශක්තිමත්ව බෝඩ් එකට සවි වෙනව...


විශේෂයි - මේකෙ මේ තඹ රවුම (හෝ තඹ ඉරි ) තියෙන පැත්තට කියන්නෙ ප්‍රින්ටඩ් සයිඩ් එක කියල. අපි උපකරන සවි කරන්නෙ මෙන්න මේ ප්‍රින්ටෙඩ් සයිඩ් එකේ තියෙන සිදුරු වලින් උපකරණ වල කම්බි එහෙමත් නැත්තම් පින් එලියට එන විදියට. අපි හිතමු පොඩි ට්‍රාන්සිස්ටරයක් කියල (කියල දෙනව ඒව ගැන පස්සෙ :පී). ඒක බෝඩ් එකේ පින් බෝඩ් එකේ උඩ පැත්තෙන් තමයි සිදුරු වලට බස්සන්න ඕන ප්‍රින්ටෙඩ් පැත්තෙ සිදුරු වලින් පින් එලියට එන විදියට...ඒක විශේෂයි... අනිත් පැත්තට දැම්මොත් මොන සර්කිට් එක හැදුවත් වැඩ කරන්න තියෙන සම්බාවිතාව නම් සෑහෙන්න අඩුයි..:)

මේ පහළින් තියෙන්නෙ එහෙම උපකරණ දාල පාස්සල තියෙන බෝඩ් එකක උඩින් පෙනුම සහ යටත පෙනුම -





ගැටලු තියේ නම් මෙතනම යටින් කමෙන්ටුවක් දාන්ට ඕන!!!








Friday, July 6, 2012

මගෙ උපකරණ ටික ii

මම කලින් අපි පාවිච්චි කරන මූලික උපකරණ කීපයක් ගැන කතා කලා නෙ.. මෙන්න ඊළඟට වැදගත්ම උපකරණය.

බවුත් එක සහ ඊයම්.

බවුත් එක සහ ඊයම් රෝල - මේ වගෙ ඊයම් රෝලක් ගන්න නම් ඔයාලට රු 1500ක් වත් යයි..!! :ඩී



බවුත් එක - (මේක මගෙ වැඩපොලේ මම පාවිච්චි කරන එක නිසයි ටිකක් පරණ පාට. ඒ උනත් අලුත් ඒවට වඩා වැඩ වලදි මේක සුපිරි)

ඉලෙක්ට්‍රොනික් වලදි අපි උපකරණ එකිනෙක හොඳින් සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නෙ ඝණ ඊයම්. ඉතින් ඝණ ඊයම් තිබුන කියල ආයෙ ඇලෙනවයි කියල යැ? ඊයම් උණු කරල තමයි අලවන්ට ඕනෑ. අන්න ඒ ඊයම් උණු කරන්න පාවිච්චි කරන උපකරණය තමයි මෙන්න මේ බවුත් එක කියල කියන්නෙ අපි. ඉලෙට්‍රොනික් පරිපථයක කම්බි හෝ වයර් එකිනෙක සම්බන්ධ වෙන තැන් වලදි ඒවා හොඳින් සවි වීමට වගේම ඒ හරහා හොඳින් විදුලිය ගමන් කරවීමටත් තමයි අපී ඊයම් වලින් ඒව පාස්සන්නෙ...

බවුත් සහ ඊයම් මිළදී ගැනීමේදී සැළකිලිමත් විය යුතු -

බවුත්
වෙළඳපොලේ එක එක මිළ ගණන් වලට බවුත් තියේ..
බවුත් වල ක්ෂමතාව එහෙමත් නැත්තම් වොට් අගය මත එක එක විදියෙ බවුත් තියෙනව.
30W, 40W, 60W, 80W වගෙ අගයන් වලින් තියෙනව.. ඉලක්කම් ලොකු වෙන්න වෙන්න ගානත් ටික ටික වැඩි වෙනව. ඒවයින් වැඩක් නෑ.. මම මෙතන කියාදෙන ඒවට 30W හරි 40W හරි බවුත් එකක් හොඳටෝම ඇති. ඒ විදියෙ සාමාන්‍ය බවුත් එකක් රු. 100කට රු. 150කට විතර ගන්න පුලුවන්. ඊට වැඩි ගනන් වලට හොඳ බවුත් තියෙනව. ඒවයෙ ගාන වැඩි වෙන්න හේතු කීපයක් තියෙනව. එලිමන්ට් එක (බවුත් එකේ රත් වෙන කම්
බි ටික ) සෑහෙන්න හොඳ එකක් වීම, බිට් එක (බවුත් එකේ ඊයම් උණු වෙන තුඩ ) සෙරමික් හෝ තඹ වීම එහෙමත් නැත්තම් කඩ කාරයා කළු කඩ මුදලාලියෙක් වීම. :ඩී!!
හරි හරි... රුපියල් 100/150 විතර 40W බවුත් එකක් ගන්ටකො.

ඊයම්

ඊයම් දැනට නම් ඔයාල සිල්ලරට ගන්න එක තමයි හොඳ. මොකද තොග ගණන් බොහොම ලොකු ඉලක්කම් වලින් තියෙන නිසා.
ඊයම් මීටර් ගානට ගන්න පුලුවන්. ඊයම් කම්බියෙ ඝණකම අනුව මීටරයක ගාන වෙනස් වෙන්න පුලුවන්.
0.8mm ඝණකම ඊයම් මීටරයක් රු. 35 ක් වගෙ ගාණක් වේවි.
අපේ වැඩ වලටත් ගොඩක් හොඳ මෙන්න මේ ඝණකම තියෙන ඊයම් තමයි... හීනිම එකත් අමාරුයි පාවිච්චි කරන්න.. ඒ වගෙම මීට වඩා මහත (ඝණකම )එකත් පාවිච්චි කරන්න අමාරුයි...

මේ සම්බන්ධ මොනව හරි මගෙන් අහන්න තියේ නම් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්ටකො...මේ ගැන විස්තර මදි නම් ඒකත් කියන්ටකො... විස්තර මදි වෙන්නෙ නම් මුළ ඉඳන් ඉගෙන ගන්න අයට නෙ.

පාස්සන හැටි (කම්බි හෝ වයර් සම්බන්ධ කරන හැටි) ඊළඟ පෝස්ට් එකට දානව.